Friday, October 5, 2012

෴෴෴෴෴෴෴෴෴෴ ඇය සහ මම ෴෴෴෴෴෴෴෴෴෴

 
 
ඇගේ ඒ සිනහවෙන්
මා විකසිතව...
සැම කල්හිම
දිලෙන ඒ සිනහවෙන්
දිලෙන්නට ඉඩදී...
සිනහවම පමණක් රැගෙන
කිසිදා
බොඳව යන්නට ඉඩ නොදී...
සැමවිටම
දිරිය සවිය ජවය දී
නිරතුරු මා පුබුදු කල...
මවුණි ඔබ
මා මතකයෙහි
සදා රැඳෙනු ඇත
නිසැකවම.......

෴෴෴෴෴෴෴෴෴෴෴ උරුමය ෴෴෴෴෴෴෴෴෴෴෴






නිල්වන් අහස් ගැබ
සිසාරා නැගුනු පර්වත අහස්කුස
තරණය කළ පසුය

අමුතු සුවයක් දැනුණි මෙලෙසය

ගත දැවටුණු සීතල සුළං රොද
නෙත ගැටුණු සිහිල් දිය කඳ
ගිමන,පවස නිරතුරු දුරු කරන
රසඳුණකි සැම දන එහිම යන

සුමිහිරි සකල ගී නදත්
රොනට ඇදි බඹරිඳු ගුම් ගුම් තාල හඬත්
මුසුවී වා ගැබ නිතියෙන්
පිනවයි සවනත එලෙසින්

සොයා උරුමය මෙලෙසින්
පා නැගුවත් එලෙස සතොසින්
ගරා වැටුනු ගොඩලි පෙළක් දුටු විලසින්
උරුමය වේද මෙය මා නොසිතූ අයුරින්

වටකර තෙරක් නොපෙනෙන ඝන වන පෙතය
ඈතින් සයුර පරදන මහ ජල කඳය
පසෙකින් තෙරක් නොපෙනෙන රන්වන් යාය
උරුමය නොවෙද මෙය මෙහි මාසිට දකින

෴෴෴෴෴෴෴෴෴෴ අසිරිමත් මිනිසා ෴෴෴෴෴෴෴෴෴෴




දුර ඈත අතීතයේ සිට
මේ සිරිලක් දෙරණ මත
උගතුන්,වියතුන් බොහොම

පහළ වුණි රට දිදුලවීමට

ඇදුරිඳු රේ විජේවර්ධන
හැරදා මෙරට වසරක් සපිරෙන දිනට
ඔහු ගැන යමක් ඔබ හට
කීමට සිතුණි මාහට

ගොඩ මඩ දෙක සරු කරන
ගොවි බල දෑත සවිබල ගන්වන
විස්මිත අසිරිමත් වූ එම නිමැවුමම
ආඩම්බරයකි මේ මුලු ලක් දෙරණටම

බල ශක්තිය මහ පැණයක් බව දුටුවා
ග්ලිරිසීඩියා ශාකය දෙස නෙත් හෙලුවා
ගැසිෆයර් තාක්ෂණය හැඳින්වුවා
මෙලෙසින් විදුලිය, තාපය නිපදූවා

මානව හිතවාදි බවින් ඉහළ වුවා
කාරුණිකව සැම දන හට සැලකූවා
තම සැම ධනය සතුටින් දසතම බෙදුවා
සදා අමරණීයව ඇත මෙලෙසින් එතුමා


෴෴෴෴෴෴෴෴෴෴෴ වසන්තය ෴෴෴෴෴෴෴෴෴෴෴


                                                         පැමිනෙනා වසන්තය
                                                         අස්වැන්න බොහො සරුය
                                                         තව තවත් අහස්කුස
                                                         දෙස බලා කිම අරුත...

                                                         ඈත රන්වන් යාය
                                                         දෙස යොවනු ඔබේ සිත
                                                         නොවුවද හිමිකරු ඒ බිම
                                                         නොසලනු ඔබෙ කඳුලු බිඳ...

                                                          කලට නිසි වැසි සමය
                                                          අස්වැන්න ගෙන දුනිය
                                                          නොගෙන තම දිරි ජවය
                                                          සිත සිතා කිම සබඳ...

                                                          විඳිය යුතු ජීවිතය
                                                          විඳවන්නෙ ඇයි මෙලෙස
                                                          රැගෙන තම දිවි ජවය
                                                          කරනු වැඩ නොපමාව...

                                                           කලොත් වැඩ අවංකව
                                                           නොවේ හෙට කිසිම දුක
                                                           හැකියාව රැකියාව
                                                           කර ජයගනු ජීවිතය...

෴෴෴෴෴෴෴෴෴෴ අසිරිමත් ජාතිය ෴෴෴෴෴෴෴෴෴෴

                                          
මෑතින් තෙරක් නොපෙනෙන නිල්වන්            කෙතය
පසෙකින් සයුර පරයන මහ දිය                         ගැබය
ඈතින් අහස් කුස නැගි සුවිසල්                            සෑය
අරුමයක් නොවෙද මෙලෙසින් මා                     දකින

අතීතයේ සිට ලොව කිතුගොස                         බැන්දූ
දස්කම්,විස්කම් පාමින් මුළු ලොව                   හෙල්ලූ
රන්වන් ලෙයින් දා කඳුලින් ගොඩ                    නැංවූ
ජාතිය නොවෙද සිංහල අප නම                        රැන්දූ

තම වෙත පැමිණි රුපු බල නොම            දණ නැවුනා
එක්සිත්, එක්සේසත් ලෙස                        යුධ වැදුනා
සියලුම සතුරු බල එලෙසින්                      ජයගත්තා
විරුවන් එලෙස අප ජාතිය                        රැකගත්තා

අප සතු දැනුම පමණක් සැමවිට                        සවිය
කරගෙන මෙලෙස එයමම අප නිති                    දිරිය
නුවණින් දියුණු කර මෙලෙසින් ගෙන               විරිය
පෙන්වන ලදි ලොවට අපගේ සුවිසල්               බලය

පැරකුම්, රවණා විරුවන් කල                         ලෙසට
නව ලොව ජය ගතයුතු කල එළඹ                      ඇත
නොමකර කිළිටි සීහල ලෙය අප                  සැවොම
නව ලොව නවමු ලෙස ජයගමු                    එකමුතුව

෴෴෴෴෴෴෴෴෴෴෴ යාත්‍රාව ෴෴෴෴෴෴෴෴෴෴෴

ඈත ක්ෂිතජයින් එහා
හිරු බැස යනු යන්තම් පෙනේ
යාත්‍රාව පෙරමෙන් නොව
කොහේටදෝ පාවෙනු දැනේ...

චණ්ඩ මාරුතයකින් පසු
සියල්ල හැරලූ විලසින්
නිහඬව අද යාත්‍රාව
නිම්තෙර වෙත පිය නගිතේ...

පෙරදා...

නිල්වන් සමුදුර කළඹවා
රන් වන් ධජ ඉහළ නංවා
සත් මහ සයුර පතලවා
සියලු තම රුපු සකි කලා...

නමුත් මෙදා...

ඉඳ හිට පමණක් හමුවන
තනිකමින් එළිය වූ
කුණාටු බටිත්තෙකුගෙන්
යායුතු මග අසයි අසරණව...
රාත්‍රිය පැමිණත්ම
දකුණු තරුවට නෙත් හොවමින්
සයුරු ගීත රස විඳිමින්
තම මග යයි අද එලෙසින්......
දෛවයේ සරදමින්
සියල්ල එලෙසින් වූවත්
අපගේ ඒ යාත්‍රාව....

මුහුදු සුළඟ සිප ගනිමින්.
ගැටෙන රළත් විඳ ගනිමින්
පෙරට වඩා සවි බලයෙන්
වෙරළක් වෙත පා නගතේ......

Thursday, October 4, 2012

෴෴෴෴෴෴෴෴෴ සරණට සරණක් ෴෴෴෴෴෴෴෴෴






                                                         නැගිටින්න අත්වැලක්

                                                         ලතැවුලට සැනසුමක්

                                                         මිනිසුන්ට මිනිසෙක්

                                                        සැමවිට වෙන්න ඔබත්.....


                                                            දැක සුරඹ සුවහස්

                                                      කර නෙතෙහි දුක් නිදහස්

                                                          සිත පුරා පිරි සතොස්

                                              ගෙනෙනු සැමසත වෙතම මෙලෙසින්...

෴෴෴෴෴෴෴෴෴ දුර ඈත රටක සිට ෴෴෴෴෴෴෴෴෴


                                         අතීතයේ සිට එන පෙරදිග                            සුළඟ
                                         සෑම දිනම සිප සැනසෙයි                          උදෑසන
                                         නොවුවත් මෑත තම සග හිත මිතුරු                කැල
                                         ලඟම සිට දැනෙයි ගතකල සැම             මොහොත

                                         පෙර පෑයූ හිරු මේ හිරුමම                      නොවෙද
                                         පෝයට පායන සඳ මෙයමම                    නොවෙද
                                         රෑ අහසේ දිලි තරු කැට                         එලෙසමය
                                         නොදැනිනි මෙලෙස වෙනසක් මුල් මස         ඔහුට

                                          කල් කල් යත්ම නව දිවියට හුරු                    වුවා
                                          ඔහු සතු අඩුව හුදකලාව බව                         දුටුවා
                                          තම සග මිතුරු කැල නිතරම මතක්                වුවා
                                          එනමුදු පෙරට අරමුණ ගෙන දිවි               ගෙවුවා

                                          සරි කර සියලු වැඩ කටයුතු තම                    එරට
                                          සිටියත් එලෙස නොම අමතක කර             මෙරට
                                          කළයුතු යමක් වූයේ නම් වෙතින්                   තම
                                          නිතරම පැමිණ කර දුනි නොම ලොබක්      ගෙන

                                         ඇම පමණකුදු මේ ලොව සැම තතු             දන්නා
                                         උතුමන් සැම කල්හිම අප රට                    උන්නා
                                         අතැඹුල ලෙස ගෙන එය සැම හට               දුන්නා
                                         පෙරටම ගෙන ගියා රට කිතු ගොස             බන්දා

෴෴෴෴෴෴෴෴෴෴෴ අපේ ගම ෴෴෴෴෴෴෴෴෴෴෴

                                            නිසලව ගලනා මුදු සිහිලැලි                       ගඟුල
                                            දසතින් ඇසෙනා නන් විහඟුන්                     නාද
                                            නීල හරිත වන පෙත ගයි නෙත්                 පැහැර
                                            ගෙනදෙයි අසිරිය මෙලෙසින් මුළු                ගමට

                                            සැමකල් සුපිපි වනමල් එහි ඇත            බොහොම
                                            පතුරයි සුවඳ ලොව හැම අත නොමඳ            ලෙස
                                            රන්වන් බඹරු එහි කැරකී වට               බොහොම
                                            කන්කළු මියුරු ගී නද පතුරති                     සැමත

                                            සුදුමුදු ගල් තලා මතින් වැටෙනා දිය              දහර
                                            සැම දන පවස නිව දුනි අමයුරු                    රසින
                                            තැන තැන සැදුණු දං,බෝවිටි වන්         බොහොම
                                            සැමගේ කිස පුරවා දුනි නොම                 ලොබින

                                            පෙනෙනා තෙරක් නොපෙනෙන රන්වන්      යාය
                                            පසෙකින් සවිය දෙන සුවිසල් වැවු               තලය
                                            ඈතින් අහස් කුස නැගි සුවිසල්                      සෑය
                                            දකිනා විටදි මා හද සනසයි                   බොහොම

                                            නන් නන් දනා නිතොරම ගම වෙත              ආවා
                                            පැමින එහිම අසිරිය හැම විඳ                      ගත්තා
                                            අසිරිය විඳ නිති එය ගැන බස්                    දෙඩුවා
                                            අසිරිය නොවිඳි අය වෙත ඇරයුම               තැබුවා

෴෴෴෴෴෴෴෴෴෴෴෴ ඇය ෴෴෴෴෴෴෴෴෴෴෴෴

        
                   ලහිරු මඬලේ
                   විකසිත වන
                   මලක් මෙන්
                   පියකරුය
                   සුකුමලය
                   දිලෙන නෙත් අගින්
                       මදෙස බලන්නීය
                                                          ඇයටම උරුම වු
                                                          පැහැපත්
                                                          මනහර
                                                          දිගු කෙස් කලඹින්
                                                          දිදුලන්නීය

                        අධිඨණින් යුතුව
                        තම අරමුණටම
                        සිත යොමු කරන සැටිය
                        සාගරය මෙන් ගැඹුරුය
                        රාත්‍රිය මෙන් නිහඬය
                        මම ඇයට කැමතිය
                  එනමුදු මම තවම නොදනිමි
                  කෙලෙස එය පැවසිය යුතුද මසොඳුර
                  ඔබත් නිහඬය මමත් නිහඬය.........

෴෴෴෴෴෴෴෴෴෴෴ පිපි කුසුම ෴෴෴෴෴෴෴෴෴෴෴




                                        හිමිදිරි උදෑසන රන් හිරු කිරණ                 මතින්
                                        ඉඳහිට වැටෙන පිනිදිය කැට සිප             ගනිමින්
                                        දුටුවන දනන් මන මත් කරවන                විලසින්
                                        පතුරයි සුවඳ ලොව පිපි ඒ කුසුම                නිතින්

                                         රන්වන් බඹරු සැමවිට ඒ කුසුම                    වට
                                         සැරිසරමින් නිති රඟ දුන්නා                බොහොම
                                         ඉඳහිට පැමිණියත් රොන් ගෙන යාමට       කුසුම
                                         රොන පමණක් දී පතිවත රැකගති             නිතින

                                         නිල්වන් අහස දෙස සැමවිට නෙත්        යොමවා
                                         දහවල් චණ්ඩ හිරු කිරණත් විඳ               ගත්තා
                                         සැප දුක සියල්ලට එක සේ සිත            යොමවා
                                         සියලුම බාධකත් එලෙසින් ජය                ගත්තා

                                         සැඳැ අඳුර ක්‍රමයෙන් එළඹෙන                   විටම
                                         ලා සඳ කිරණ දහරින් නැහැවෙන               විටම
                                         පහන් සිතින් සිටිනා විට සියලු                      දන
                                         කෙලෙසුන් නසා පුදවිය සමිඳුට                 කුසුම

                                         මනු අප දිවි පෙවෙතත් මෙලෙසම         නොවෙද
                                         කල හොඳම පමණක් ඉතිරිය                 මෙලෙස
                                         ඒ බව දැන ගත කළ මැන හැම             මොහොත
                                         හෙට අප දවස නිසැකව දිදුලයි                     එවිට